A review by ramblingsofareader
රතු ඉරි අඳින අත by ලියනගේ අමරකීර්ති

3.0

ලියනගේ අමරකීර්ති මගේ පෞද්ගලික අදහස අනුව දක්ෂ කතුවරයෙකි. එසේ වන්නේ ඔහු විසින් අටවක පුත්තු රචනා කිරීම නිසා බව මම සිතමි. ඔහුගේ අලුත්ම නවකතාව  රතු ඉරි අඳින අත , මෙවර ස්වර්ණ පුස්තක කෙටි ලැයිස්තුවට තේරී පත්ව ඇති නවකතාවකි.

කතුවරයා මෙම නවකතාවේ මුල සිටම ඉතා නූතන සන්දර්භයක් භාවිත කරයි. කතාවේ චරිත තරු පන්තියේ හෝටල් වලින් කන බොන, නිතර ෆේස්බුක් යන අයයි. එය ධනාත්මක ලක්ෂණයක් ලෙස මම දකිමි.

එමෙන්ම ඔහු එම නූතන ලක්ෂණ සමාජයේ යම් යම් චරිත හෝ චරිත කොට්ඨාශ වලට උපහාසාත්මක ලෙස භාවිත කරයි. මෙම උපහාසාත්මක යෙදුම් යම් තරමකින් භාවිත කිරීම කතාව ඔප් නංවන මුත් මෙහිදී කතුවරයා විසින් ඒවා නුවුවමනා සේ වැඩිපුර භාවිත කර ඇත්දැයි සිතේ.

මෙය ඉතා පහසුවෙන් කියවා ගෙන ගිය හැකි නවකතාවකි. භාෂාව රසවත් ලෙස යොදාගැනීම අතින් කතුවරයා ඉදිරියෙන් සිටියි. ඔහු යම් යම් සිදුවීම් විස්තර විචිත්‍ර ය. වර්ණනාත්මක ය. පාඨකයා යම් කුතුහලයකින් කතාව වෙත ඇඳ බැඳ තබා ගනී.

මෙහි අවසානයේ යම් පෙරළියක් හෙවත් plot twist එකක් ඇත. එය මුල සිට කෙරෙන ඉඟි වලින් අනුමාන කිරීමට හැකි වූ නිසා එතරම් නැවුම් බවක් හෝ "අහා" හැඟීමක් ඇති වුණේ නැත. ඇත්තෙන්ම කියනවා නම් මම මේ නවකතාව අවසානයේ මීට වඩා වැඩි දෙයක් අපේක්ෂා කළෙමි. එයට හේතුව කතුවරයා කතාවේ මුල ඉතා දක්ෂ ලෙස ගොඩනංවා තිබීමයි. මෙය ඉතා හදිසියේ අවසන් කළ බවට සිතිය හැක්කේ එහි එන අනපේක්ෂිත හා මනාව සැලසුම් නොකළ අවසානයයි.

මෙහි එන චරිත ගොඩනැංවීම මගේ සිත් ගත් නමුත් චරිත අතර සම්බන්ධය දැක්වීමේ ලා යම් අඩුවක් දැනුණි. චරිත අතර සම්බන්ධතා දැක්වීමට කතා වස්තුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව මගේ අදහසයි.

අප යම් කතුවරයෙක් ගේ නිර්මාණ රස විඳීමේදී ඔහුගේ පෙර නිර්මාණ හා නව නිර්මාණ සැසඳීමක් වුවමනාවෙන් සිදු නොකළ ද යටිසිත ඒවා සංසන්දනය කිරීමක් සිදුකරයි. මා කතුවරයා ගේ නවකතා අතුරෙන් අටවක පුත්තු, කුරුලු හදවත හා අහම්බකාරක කියවා ඇත. මෙයින් අටවක පුත්තු නවකතාව මගේ නවකතා කියවීමේ එක් සංධිස්ථානයකි. එබැවින් මා ඔහුගේ නවකතා සියල්ලම සැසඳීම සඳහා පාදක කරගන්නේ අටවක පුත්තු නවකතාවයි. අටවක පුත්තු ලියූ ඔහුට මේ කුමක් වී දැයි මම මෙය කියවා මගෙන්ම අසාගත් ප්‍රශ්නයකි.

කතුවරයා වැනි නවකතාකරුවෙකු ට ඉතා රසවත් නවකතාවක් නිර්මාණය කළ හැකි වස්තු බීජයක් මෙහි ඇත. එයට නිසි පරිදි පොහොර දමා සකසා රසවත් අග්‍ර ඵලයක් ගෙන ඒමේ කටයුත්තේදී කතුවරයාට මීට වඩා සාර්ථක වීමට අවස්ථාව ඇති බව මගේ පෞද්ගලික හැඟීමයි.