A review by ramblingsofareader
නිම්නාගේ ඉතිහාසය by Kaushalya Kumarasinghe

5.0

මෙය ලියන මොහොතේදී මධ්‍යම රාත්‍රිය එළඹෙන්නට තව ඇත්තේ විනාඩි කිහිපයකි. මා නිම්නාගේ ඉතිහාසය කියවා අවසන් කළා පමණි. මට දැනෙන මේ ආහ්ලාදජනක හැඟීම මා ජීවත්වන නැගෙනහිර පළාතේ කුඩා නගරයට කුඩා වැඩිය. මෙය සැමරිය යුත්තේ ආකාස ගොඩනැගිල්ලක ඉහළ මහලක සිටය.

මේ වචනයේ පරිසමාප්තියෙන්ම නිම්නාගේ ඉතිහාසයයි. ඒ ඉතිහාසය ඔබ වෙත ගෙන එන්නේ නිම්නාගේ පරම්පරාවේ ස්ත්‍රීන් ය. විවිධ සමාජ සංදර්භයන් තුළ ඒ එක් එක් ස්ත්‍රීන් තමන්ට මුහුණදීමට සිදුවූ සිදුවීම් තම තම නැණ පමණින් ඔබට කියයි. අතීතයේ සිදු වූ එක් එක් සිදුවීම් ඔවුන්ගේ ජීවිත වලට කෙතරම් බලපෑමක් ඇති කර ඇත්දැයි පාඨකයා අවබෝධ කර ගත යුත්තේ ඊට පසු පරම්පරාවල ස්ත්‍රීන්ගේ අත්දැකීම් හා සැසඳීමෙනි.

ඉතිහාසය නැවත නැවතත් සිදුවෙමින් පවතී. නිම්නා හා ඇගේ පරම්පරාවේ ස්ත්‍රීන් මුහුණ දෙන සිදුවීම් චක්‍රාකාර ය. ඇග්නස්ගේ ප්‍රේමය පතන තරුණයන් හා නිම්නාගේ ප්‍රේමය පතන තරුණයන් පරම්පරා දෙකක ය. එහෙත් ඇග්නස් හා නිම්නා ගේ සිතුවිලි හා අත්දැකීම් අඩු වැඩි වශයෙන් සමාන වේ.

කතුවරයා කතන්දරය කියන්නේ එක් කාල රාමුවක සිට නොවේ. වර්තමාන කතාව කියමින් සිට ඔහු එක්වරම අතීතයට යයි. අතීත කතාව කියමින් සිට එක්වරම වර්තමානයට එයි. මේ කාල රාමු අතර දෝලනය වෙමින් පාඨකයා කතාව අසා ගත යුතුය.

මෙහි එන චරිත රාශියක් අතුරෙන් මා සිත් ගත් චරිතයක් වන්නේ පණ්ඩුක ය. නිම්නාගේ පරම්පරාවේ පුරුෂයෙක් සිය සහෝදරිය අරභයා මුහුණ දෙන අත්දැකීම පණ්ඩුක ද ඊට සමාන ආකාරයකට මුහුණ දෙයි.එහෙත් ඔවුන්ගේ චරිත අභ්‍යන්තරයේ ඇතිවන වෙනස්කම් එකම ආකාරයේද? ඔවුන් දෙදෙනාම එයට ප්‍රතිචාර දක්වන්නේ එක්තරා ආකාරයකින් සමානවය. එහෙත් එය වෙනස් වන්නේ ඔවුන් දෙදෙනා ජීවත් වන්නේ සමාජ තල දෙකක බැවිනි. ඇග්නස් ගේ සොහොයුරාට තම හැඟීම් ප්‍රකාශනය කරන්නට නොතිබූ මාධ්‍යයක් දැන් පණ්ඩුක ට තිබේ. ගරා යකාට මුවා වී සිය සිතුවිලි රිසි සේ ප්‍රකාශ කිරීමට නූතන සමාජය පණ්ඩුක ට අවස්තාවක් ලබා දී ඇත.

නිම්නාට හා ඇගේ සමකාලීන මිතුරු මිතුරියන්ට තම ලිංගික අනන්‍යතාව සොයාගැනීම සඳහා සමාජයෙන් හිමිවී ඇති ඉඩකඩ අප විසින් සාකච්ඡා කිරීම වටී. ඇග්නස් හා චාලට් ගේ පරපුරේ සාමාජිකයන්ට නොතිබූ නිදහසක් නිම්නාගේ පරපුරට තිබේ. ලිංගික අනන්‍යතාව හඳුනා ගැනීම ඔවුන්ගේ ජීවිත සඳහා කෙතරම් වැදගත් වූවාද? එමෙන්ම නවකතාවේ කියවෙන පරිදි සමාජ පංතියෙන් ඉහළට යනවිට ලිංගික අනන්‍යතාව හඳුනාගැනීමේ අවස්ථා ප්‍රවේශ විය හැකි (accessible) මට්ටමකට එනවාද? සඟවාගත් ආශාවන් සහිත වූවෝ ජීවත් වූයේ අතීත සමාජයේ පමණක් ද?

නිම්නාගේ ඉතිහාසය මා කියවන්නට අරඹා කිහිප විටක් පසෙකින් තැබූ නවකතාවකි. ඒ ගැන පසුතැවීමක් නැත්තේ එය බාධාවකින් තොරව රසවිඳීමට අවකාශයක් ඒ නිසා  ලැබුණ බැවිනි. කතුවරයාගේ මුල් නවකතාවත් මේ නවකතාවත් දෙකම සලකන විට කෞෂල්‍ය කුමාරසිංහ මගේ අනිවාර්යයෙන්ම කියවිය යුතු කතුවරුන් ගේ ලැයිස්තුවට ඇතුළත් විය යුතුය.

Coming-of-age නවකතා සිංහල භාෂාවෙන් ලියවී ඇත්තේ අල්ප වශයෙනි. ස්ත්‍රීන්ගේ දෘෂ්ටිකෝණයෙන් ඉතිහාසය දකින මේ නවකතාව ඒ අතුරෙන් කියවිය යුතුම නවකතාවක් ලෙස මම දකිමි.