A review by ramblingsofareader
දං පඳුරට ආ රැහැයියා by අමාලි අනුපමා මල්ලවආරච්චි

4.0

දං පඳුරට ආ රැහැයියා 2019 වසරේ  ගොඩගේ අත්පිටපත් තරඟයේ ප්‍රශස්ත කෙටිකතා සංග්‍රහය සඳහා සම සම්මානය දිනා ගත්තේය.

සාමාන්‍යයෙන් ගොඩගේ අත්පිටපත් තරඟයේ ප්‍රශස්ත කෘති ලෙස සම්මාන ලබන කෘති කියවීමේ ලා මම ප්‍රියතාවයක් දක්වමි. එයට හේතුව සාමාන්‍යයෙන් අපට ඇස නොගැටෙන වෙනස් අන්දමේ කෘති කියවීමට ලැබීමයි. දං පඳුරට ආ රැහැයියා කියවීම ද එවැනි නැවුම් අත්දැකීමකි.

දං පඳුරට ආ රැහැයියා කෙටිකතා 8කින් සමන්විත කෙටිකතා සංග්‍රහයකි. මෙහි එක් එක් කෙටිකතාව ගැන සඳහන් කරනවාට වඩා පොදුවේ කතා සියල්ලම ගැන යමක් ලියමි.

මේ එක් කෙටිකතාවක් වත් සාම්ප්‍රදායික කෙටිකතා ගණයට දැමිය නොහැක. ඒවා

වෙනස් ආකෘතියකට ලියවී ඇත. චරිත ද එදිනෙදා හුරු පුරුදු චරිත නොවේ.  කතා සංකල්ප සමහරක් හුරු පුරුදු නමුත් වචන, රූපක පෙරළියකින් ඒවාට අලුත් මුහුණුවරක් ලබාදීමට කතුවරිය සමත් වී ඇත.

කෙටිකතා ලිවීමේදී සංකේත භාවිතය වැදගත් ය. එයට හේතුව නම් නවකතාවක මෙන් නොව කෙටිකතාවකදී වචන අරපිරිමැස්මෙන් භාවිත කිරීමට සිදුවීමයි. කතුවරිය ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දී ඇති යැයි සිතමි.

මේ කෙටිකතා කියවීම මීට වසර කිහිපයකට පෙර නිකුත් වූ කාංචනා අමිලානි ගේ ගම්මිරිස් කුරුල්ලා කෙටිකතා සංග්‍රහය මතකයට නංවයි.

මෙය මේ වසරේ කියවූ කෙටිකතා සංග්‍රහයන් වලින් ප්‍රබෝධමත් අත්දැකීමක් ලබා දීමට සමත් වූ කෘතියක් බැවින් කෙටිකතා කියවීමට ප්‍රිය සැමට නිර්දේශ කරමි.